Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

https://inside.gossiplanka.com/2020/08/refrigerator-use-well.html
ගෙදරට ගෙන එන එළවළු, පළතුරු සහ නොයෙක් විධ ආහාර කල් තබා ගැනීම ට ගෘහස්ථ ශීතකරණය බොහෝ දෙනෙක්ට දශක කීපයක පටන් නැතිවම බැරි අපූරු නිෂ්පාදනයක් වී හමාරයි. කලින් කලට තාක්ෂණයත් සමග විදුලිය පිරිමසිමින් පරිසර හිතකාමී වෙමින් නව්‍යකරණය වන මේ නිමැවුම තුළින් උපරිම ප්‍රයෝජන ගන්නේ කෙසේදැයි දැනගත යුතු වන්නේ එය නිවසක ආහාර සුරක්ෂිතතාවය සහ බලශක්තිය සමග බැදී ඇති බැවින් ය.

ඕනෑම ආහාරයක් කාලයත් සමග මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයට පත්වන්නේ නොයෙකුත් සාධක ගණනාවක බලපෑම මතය. මේවා සමහරක් ආහාරය තුළ මෙන්ම බාහිර සාධක නිසා සිදුවෙන්නත් පුළුවනි.

සහමුළින් ම ක්ෂුද්‍රජීවීන් සහ ක්ෂුද්‍රජීවී බීජාණු නසන ලද එනම් ජීවානුහරණය කළ බවට සහතික කළ ආහාරයක් හැර වෙනත් ඕනම ආහාරයක් තුළ ආහාර නරක් කිරීමට බලපාන ක්ෂුද්‍ර ජීවින් හෝ/ සහ බීජාණු අඩංගු විය හැකියි. ඒ වගේම සමහරවිට රෝගකාරක ක්ෂුද්‍ර ජීවින් වුවද වෙළදපොලෙන් මිලදී ගන්නා ආහාර තුළ සිටීමට ඉඩ ඇත. කෙසේ නමුත් මෙවන් ජීවින් තම ගහණය වැඩි කරගැනීමට නැතහොත් පෙර කී පරිදි බීජාණු වල ප්‍රරෝහණයට උෂ්ණත්වය අතිශයින් වැදගත් වෙයි. යම් නිශ්චිත සංඛ්‍යාවකට මෙම ජීවි ගහණය වර්ධනය වන තාක් කල් ආහාරයේ ප්‍රමිතියට බලපෑමක් හෝ රෝග ඇතිකිරීමට ඇති හැකියාව බොහෝ අඩුය. බොහොමයක් මේ ජීවින් බැක්ටීරියා,දිලීර සහ පුස් වර්ග වෙයි. උෂ්ණත්වය සැළකීමේ දී සෙල්සියස් අංශක 5 සිට 60 දක්වා (ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වා ඇති පරිදි) පරාසය ආහාර තුළ බොහොමයක් බැක්ටීරියා වේගවත්ම වර්ධනයක් පෙන්නුම් කරයි.

මේ අනුව උෂ්ණත්වය සෙල්සියස් අංශක 5ට අඩු හෝ 60 ට වැඩි අගයක ආහාර පවත්වා ගැනීම මගින් ඉහත සීඝ්‍ර වර්ධනය වන පරාසය( Temperature danger zone) මඟ හරවා ගැනීමෙන් ආහාර තුළ ක්ෂුද්‍රජීවි වර්ධනය සීමා කර වැඩි කාලයක් පරිරක්ෂණය කර තබා ගත හැකිය. එහෙත් ඉහළ උෂ්ණත්වයන් යොදා කෙරෙන පරිරක්ෂණ ක්‍රම වල ප්‍රධාන අවාසියක් නම් ආහාරයේ පෝෂණ ගුණ හානි වීම ඉහළ වීමත් භෞතික ගුණාංග බොහෝ සෙයින්ම වෙනස් වීමත් ය. ඉහළ උෂ්ණත්ව වලට වඩා පහළ උෂ්ණත්වයක් තුළ ආහාර පරිරක්ෂණය යෝග්‍ය වන්නේ ඉහත ගුණ හානිය අවම නිසයි.

පෙරදී පැවසූ ක්ෂුද්‍ර ජීවින්ගේ සීඝ්‍ර වර්ධන උෂ්ණත්ව පරාසයද මඟ හරවාගනිමින් පහළ උෂ්ණත්වයක ආහාර පරිරක්ෂණය සඳහා කළයුතු වන්නේ සෙල්සියස් අංශක 5ට අඩු පරිසරයක් කෘතිමව සකසා ඒ තුළ ආහාර ගබඩා කිරීමයි. එලෙසම ඔබ භාවිතා කරන ඕනෑම ගෘහස්ථ ශීතකරණයක උෂ්ණත්වය නිසැකවම සෙල්සියස් අංශක 4 හෝ ඊට අඩු අගයන් සහිතව සකසා ඇත්තේ මේ නිසයි.

ක්ෂුද්‍ර ජීවින් නිසා මෙන්ම ආහාර තුළ ස්වභාවිකව ම අඩංගු එන්සයිම වල ක්‍රියාකාරීවය ද ආහාර වල පරිභෝජනයට ගත හැකි ආයුකාලය සීමා කරයි. එන්සයිම මගින් ආහාරයක අඩංගු පෝෂක ජීර්ණය කරන අතර එය ජාරක එන්සයිම මගින් සිදුකෙරේ. උදාහරණයක් ලෙස මස් වල නම් ප්‍රෝටියෝලිටික එන්සයිම මගින් ප්‍රෝටීන ඇමයිනෝ අම්ල බවට ජලවිජ්ජේදන ප්‍රතික්‍රියා හරහා බිඳ හෙලයි. මේ ආකාරයට අනෙකුත් පෝෂක සදහා ද ඒවාටම අනන්‍ය වූ එන්සයිමීය බිද හෙලීම් සිදු වේ. එපමණක් නොව ආහාරයක ස්වභාවික සංයුතිය සහ භෞතික ගුණාංග රැසක් එන්සයිමීය ක්‍රියාකාරීත්වය නිසා කාලයත් සමඟ වෙනස් වෙයි.තවත් උදාහරණයක් නම් අර්තාපල් ආදියේ දක්නට ලැබෙන පිෂ්ට සීනි පරිවර්තනයයි. එනම් කාමර උෂ්ණත්වයේ දී අර්තාපල් වල පිෂ්ටය එලෙසම පැවතුණත් ශීතකරණයක පවතින සෙල්සියස් අංශක 4 ට අඩු උෂ්ණත්වයේ දී අර්තාපල් තුළ අන්තර්ගත පිෂ්ටය සීනි බවට පරිවර්තනය වෙයි. මෙලෙස ශීතකරණයක් තුළ ගබඩා කිරීමෙන් ඒවා පැළ වීම(sprouting) ප්‍රමාද වන අතර වැඩි කාලයක් පරිරක්ෂණය කර තබාගත හැක. එහෙත් එලෙස පහළ උෂ්ණත්ව වල ගබඩා කළ අර්තාපල් පෙති(Chips) ලෙස බැඳීමේදි අර්තාපල් වල අඩංගු ඇස්පරජීන් (Asparagine) නම් ඇමයිනෝ අම්ලය සමඟ ප්‍රතික්‍රියා කර ඇක්‍රිලමයිඩ් (Acrylamide) සාදයි. එය පිළිකා වලට හේතුවන බව මෑත කාලීන පර්යේෂණ මඟින් සනාථ වී ඇත.එපමණක් නොව පිෂ්ටය, සීනි බවට පරිවර්තනය වී ඇති බැවින් එවැනි ශීත කළ අර්තාපල් වල බදින ලද අලපෙති පැණිරසයක් ගෙන දෙයි. මේ හේතුන් නිසා අල පෙති බැදීම සඳහා යොදාගන්නේ නම් ශීතකර‍ණ තුළ ගබඩා කළ අර්තාපල් එතරම් ඒ සදහා යෝග්‍ය නොවේ. මෙවන් කාරණා පිළිබඳව ද ශීතකරණ භාවිතයේ දී අවබෝධයක් තිබීම වැදගත් ය. එන්සයිම ක්‍රියාකාරීත්වයට උෂ්ණත්වය බලපාන අතර ඉතා පහළ උෂ්ණත්ව වල දී එන්සයිම ක්‍රියාකාරීත්වය සෙමින් සිදුවෙයි.මේ නිසා ශීතකරණයක් තුළ ආහාර වැඩි කාලයක් තබාගත හැකිය.

මෙතෙක් පැහැදිළි කළ කරුණු අනුව වටහා ගතයුතු වන්නේ ශීතකරණයක් තුළ ආහාර ගබඩා කිරීමෙන් මූලිකවම ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයත් එන්සයිම ක්‍රියාකාරීත්වයත් යන දෙකම ඉතාමත් සෙමින් සිදුවීම හරහා ආහාර දිගු කලක් පරිභෝජනයට ගතහැකි තත්වයෙන් තබාගත හැකි බවයි.

දැන් අප ශීතකරණයක ක්‍රියාකාරීත්වය කෙටියෙන් වටහා ගැනීමට උත්සාහ කළයුතුය. ශීතකරණයක සරලවම සිදුවන්නේ ආහාරයෙන් තාප ශක්තිය ශීතකරණයක අභ්‍යන්තර පරිසරය මගින් අවශෝෂණය කර ගැනීමයි.

එනම් ආහාරයක් ශීතකරණයට දැමූ විගස ආහාරයේ උෂ්ණත්වය ශීතකර‍ණය තුළ උෂ්ණත්වයට වඩා වැඩිය. මේ හේතුවෙන් ඉහළ උෂ්ණත්වයක් ඇති ආහාරයේ සිට ශීතකර‍ණය තුළ ඇති අභ්‍යන්තර රේඩියේටරයට සම්බන්ධ නල තුළ අන්තර්ගත වූ ඉතාමත්ම පහළ උෂ්ණත්වයක පවතින ශීතකාරක වායුව( Refrigerant gas) මගින් තාප ශක්තිය ලෙස අවශෝෂණය කර ගනියි.

මේ නිසා රත්වෙන ශීතකාරක වායුව ශීතකරණයට බාහිරින් පිටුපස ඇති සම්පීඩකය (Compressor) තුළ එක්රැස් වෙයි .එහි වූ පොම්ප (Pump) තුළ මෙම වායුව අධික පීඩනයක් යටතේ රත් වූ ද්‍රව තත්වයට ( Refrigerant liquid) පත් කෙරේ.

දැන් ද්‍රව තත්වයට පත් වූ උණුසුම් ශීතකාරක වායුව,පීඩකය( Compressor) තුළින් නලයක් හරහා ඉවතට ගමන්කරයි.එම උණුසුම් වායුව බාහිර කන්ඩෙන්සරය (Condenser) මගින් කාමර උෂ්ණත්වයට සිසිල් කෙරේ.

එම කාමර උෂ්ණත්වයට සිසිල් වූ අධික පීඩනයක ඇති ද්‍රවය වෑල්වයක් තුළ ( Expansion valve) පරිමාව වැඩි කරගනිමින් ප්‍රසාරණය වන අතර එවිට එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 ටත් අඩු උෂ්ණත්වයක පවතින වායුවක් බවට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ශීතකාරක වායුව සාදයි. මෙය ශීතකරණය තුළට නල හරහා ගමන් කරන අතර ආරම්භයේ පැවසූ පරිදි නැවතත් ආහාර වලින් තාපය අවශෝෂණය කරගැනීමට සුදානම් ය.

මෙය චක්‍රීයව දිගින් දිගටම සිදුවන අතර ශීතකරණයක් සදහා විදුලි බලය ප්‍රධාන ලෙසම මෙය සඳහා අවශ්‍යය ය.

එමෙන්ම තවත් වැදගත් කරුණක් නම් අප අවට පරිසරයට වඩා ශීතකරණයක් තුළ ඇත්තේ ඉතා වියළි පරිසරයක් බවයි. ඉහත ක්‍රියාවලිය ආරම්භයේ දී පැවසූ පරිදි ශීතකරණයක් තුළ තාපය උරාගන්නේ ආහාරය හරහා ඒ තුළ වාතයේ වූ ජල වාෂ්ප උපයෝගී කරගනිමින් ය. එවිට ජල වාෂ්ප සිසිල් වී අයිස් බවට පත් වන අතර එහි ප්‍රතිඵලය ලෙස ශීතකරණයේ ඇතුළු බිත්ති මත අයිස් තැන්පත් වී තිබෙනු ඔබ දැක ඇති. මෙලෙස ශීතකරණය තුළ ඇති වාතයේ ජල වාෂ්ප ඝණත්වය අඩු වන බැවින් එහි ඇත්තේ වියලි පරිසරයකි.

ශීතකරණය තුළ වූ පරිසරයට වඩා ඉහළ තෙතමන අන්තර්ගතයක් ඇති ආහාර ශීතකරණයක් තුළ කල් යත්ම
වියලුණු ස්වභාවයකට(මැලවුණු) පත්වන්නේ මෙලෙස ආහාරයෙන් ජලය ඉවත්වීම නිසයි. එමෙන්ම ශීතකරණය තුළ ඇති වාතයට වඩා ඉතාමත් අඩු තෙතමනයක් සහිත ආහාර තෙත්වන්නේද (පෙගුණු) ශීතකරණය තුළ ඇති වාතයෙන් ජල වාෂ්ප උරාගන්නා නිසයි.

මේ නිසා ශීතකරණයක් තුළ ඇත්තේ සිසිල් වියළි පරිසරයක් යැයි ව්‍යවහාර වෙයි.

මෙතෙක් පැහැදිළි කළ ශීතකරණයක ක්‍රියාකාරීත්වය හා ආහාර පරිරක්ෂණය වන ආකාරය පදනම් කරගෙන ශීතකරණයක් උපරිම ඵලදායිතාවයකින් ප්‍රයෝජනයට ගන්නේ කෙසේදැයි වටහා ගත හැකිය. ඒ නිසි පරිදි ආහාර ගබඩා කිරීමත් ශීතකරණය අවම බලශක්තියක් වැයවන සේ පරිහරණය තුලිනි.

ආහාර ගබඩා කිරීම සදහා ඇසුරුම් භාවිතා කරන්න.එනම් තුනී පොලිතීන්(LDPE) වැනි දෙයක් යොදාගත යුතුයි. ආවරණය කළ විට ආහාර මැලවීම හෝ පෙගීම අවම කරගත හැක. ඊට අමතරව ආහාර වල අඩංගු වාෂ්පශීලි සුවඳකාරක සංයෝග එකිනෙක මුසුවීමත් වළක්වයි. නමුත් ඝනකමින් වැඩි ඇසුරුම් යොදාගත් විට ඇසුරුමෙනුත් අමතර බොහෝ තාප ප්‍රමාණයක් අවශෝෂණය වන නිසා විදුලිය වැඩියෙන් වැය වෙයි.

Frozen foods,මස්,මාළු සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන(උදා: යෝගට්,අයිස්ක්‍රීම්) වැනි ප්‍රෝටීන අධික ආහාර නරක් වීම පහසුවෙන් සිදුවෙයි.එබැවින් ඒවා ගබඩා කිරීමට වඩාත්ම සුදුසු වන්නේ ශීතකරණයක අවම උෂ්ණත්වය සහිත කොටස එසේ නම් අධිශීත කොටස තුළයි.(Freezer compartment ) මෙය තුළ අවම උෂ්ණත්වයක් ඇත්නම් මෙය තුළ වියළි බවද උපරිම වියුතු බව පෙර මෙහි සදහන් පරිදි පැහැදිළි විය යුතුය.

එසේ නැතහොත් ප්‍රධාන කුටීරයේ (Refrigerator compartment ) ඇති Freezer කොටසට ළඟින්ම පිහිටි පෙදෙස මස් මාළු සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන ගබඩා කිරීම සඳහා යොදාගැනීම ද සුදුසුය. මන්ද දෙවෙනියට අවම උෂ්ණත්වයක් සහිත වන්නේ එම කොටසේ නිසාත් එහි උෂ්ණත්වය බොහෝ දුරට නියත අගයක පැවතීමයි. එමෙන්ම එම පෙදෙස බිත්තර, ඉක්මනින් භාවිතයට ගන්නා ආහාර සහ පිසින ලද ආහාර ගබඩා කිරීමට ඉතාමත් සුදුසු ය.
බිත්තර සඳහා freezer කොටස කිසිසේත් සුදුසු නොවේ. එවිට ඉරිතැලීම් මෙන්ම සංයුතිය ජෙලි වැනි ස්වභාවයකට පත්වීමත් භාවිතයේ දී ගැටලු ඇතිකරයි.

බොහෝ ගෘහස්ථ ශීතකරණය වල ආහාර ගබඩා කිරීමට එහි දොර මගින් ද පහසුකම සලසා ඇත. නමුත් ශීතකරණයක දොරේ ඇතුල් පැත්තේ උෂ්ණත්වය බොහෝ සෙයින් උච්චාවචනය වන සුළුය. එබැවින් ඉක්මනින් නරක් විය හැකි ආහාර ගබඩා කිරීමට දොරේ ඇතුළු පැත්ත සුදුසු නොවේ. දොර වඩාත්ම සුදුසු වන්නේ සීනි සහිත පාන වර්ග සහ පහසුවෙන් නරක් නොවන නිමි ආහාර ගබඩා කිරීමටයි.

වර්තමාන ශීතකරණ වල ලාච්චු එකක් හෝ කිහිපයක් දක්නට ලැබෙයි. මේවා බොහෝ විට පතුලේ සකසා ඇත.මෙය එළවළු සහ පළතුරු ගබඩා කිරීම සුදුසුම කුටීර වේ.එනම් මෙම පෙදෙසේ
ශීතකරණයේ ඉහළ ප්‍රදේශ වලට වඩා වැඩි උෂ්ණත්වයක් ඇති අතර ජල වාෂ්ප ඉහළ අන්තර්ගතයක් ඇති(Humidity) පරිසරයක් බැවින් එළවළු ආදිය මැලවීමට ඇත්තෙ අවම අවස්ථාවකි.ශීත හානි (Chilling injuries) ද ඉහළ පෙදෙස් වලට වඩා සාපේක්ෂව අඩුය.
එමෙන්ම එම ලාච්චු තුළ පලතුරු සහ එළවළු වෙන් වෙන්ව ඇසිරීම වැදගත් ය. මන්ද ප‍ළතුරු ඉදෙන විට එතිලීන් නිෂ්පාදනය වන බැවින් එය එළවළු සමග ගැටීමෙන් එළවළු ඉක්මනින් භාවිතයට ගත නොහැකි තත්වයට පත් වියහැකි බැවිනි.

ගෘහස්ථ ශීතකරණයක ගබඩා කළ ආහාර නිසි කාලයේ දී පරිභේජනයට ගැනීමද වැදගත් ය. මන්දයත් ආරම්භයේ පැවසූ පරිදි බොහෝ ක්ෂුද්‍රජීවීන්ගේ වර්ධනය පාලනය වුවද ඇතැම් ශීත කාරක ක්ෂුද්‍රජීවින් වර්ධනය විය හැකි වීමත් ඇතැම්විට රෝග සදහා හේතුවීමත් ය. උදාහරණයක් ලෙස අධිශීතකරණයක දී වුවද ලිස්ටීරියා
(Listeria monocytogenes) වැනි රෝගකාරක බැක්ටීරියා සත්ත්ව ආහාර තුළ වර්ධනය සෙමින් හෝ සිදුවන බැවිනි.

ගෘහස්ථ ශීතකරණ භාවිතයේ දී බලශක්ති ඉතිරිය ගැන විශේෂයෙන්ම සැළකිලිමත් විය යුතුය. මන්ද ශීතකරණයක් විශාල වන තරමට පරිභෝජනය කරන බලශක්තිය ද වැඩි ය.සාමාන්‍යයෙන් පස් දෙනෙකුගෙන් යුත් පවුලට ලීටර් 190 ක ධාරිතාවකින් යුතු ශීතකරණයක් ප්‍රමාණවත් ය.

උණුසුම් ආහාර ශීතකරණයට දැමීමට පෙර කාමර උෂ්ණත්වයට සිසිල් කිරීම ඉතා වැදගත්ය. හේතුව නම් උණුසුම් ආහාරයක් ශීතකරණයකට දැමූ විට එය පළමුව කාමර උෂ්ණත්වයට සිසිල් වීමට අමතර ශක්තියක් වැය වීමයි.

දියරමය ආහාර ජලය ඉවතට නොයන ලෙස සංවෘත බදුන්/ඇසුරුම් තුළ තැබිය යුතුය. නැතහොත් එවැනි ආහාරපාන වලින් ජල වාෂ්ප, ශීතකරණය තුළ පරිසරයට වාෂ්පීභවනය වන නිසා උෂ්ණත්වය විචලනය වන නිසාය.

ශීතකරණයක දොර විවෘත කරන කාල සීමාව සහ වාර ගණන හැකි තරම් අඩු කරගත යුතුය. දොර විවෘත කළ විට එහි ඇතුළත උෂ්ණත්වය සෙල්සියස් අංශක 10-20 අතර ප්‍රමාණයකින් සාමාන්‍යයෙන් ඉහළ යන අතර පෙර විස්තර කළ ක්‍රියකාරීත්වය යටතේ ක්‍රමයෙන් නැවත සිසිල් කිරීමට වැය වන්නේ බලශක්තිය යි.

ශීතකරණය තුළ සංවෘත අවකාශයක් තිබීම වැදගත් වේ. එසේ නැතහොත් සම්පීඩකයේ ක්‍රියාකාරීත්වය හරහා උෂ්ණත්වය නියතව පවත්වා ගැනීමට විදුලිය වැය වීම ඉහළය. මේ නිසා දොර හොදින් වැසිය යුතුයි. දොරේ බීඩිම මත අයිස් බැදීම දොර හොදින් වැසෙන්නේ නැති බවට සංඥාවකි.තුනී කඩදාසියක් හෝ මුදල් නෝට්ටුවක් දොරට හසුවන සේ වසන්න.දැන් කඩදාසිය හෝ මුදල් නෝට්ටුව පහසුවෙන් ඉවතට ගත හැකි නම් දොර හරහා සිසිල් වාතය හුවමාරු වෙයි. එය දෝෂය සැකසීම නුවණට හුරුය.

හොඳින් වාතාශ්‍රය ඇති ස්ථානයක් ශීතකරණය තැබීමට සුදුසු ය.සෘජුව හිරු එළිය වැටෙන සහ තාපය උපදවන උදුන් වැන් දෑ අසල නොතැබිය යුතුය. මන්ද යත් කන්ඩෙන්සරයේ මනා ක්‍රියාකාරීවයට වාතාශ්‍රය සහිත සිසිල් ස්ථානයක් යෝග්‍ය බැවිනි.

ශීතකරණයක ඇතුළත සහ පිටත පිරිසිදුව තබාගත යුතුය. කන්ඩෙන්සරයේ දඟර මත දුහුවිලි ආදිය තැන්පත් නොවන සේ වග බලා ගත යුතුය. ඇතුළත බිත්ති මත අයිස් තැන්පත් වීම හැකිතරම් අවම විය යුතුයි. එසේ වන්නේ නම් හැකි සෑම විටම ඒවා ඉවත් කළයුතු වෙයි.

විදුලි නාස්තිය අවම කරගැනීම ට ශීතකරණය තුළ පවතින ආහාර වර්ග සහ ප්‍රමාණය අනුව සුසර කිරීම ද යෝජනා කළහැක.උදාහරණයක් ලෙස අධිශීත කුටීරය (Freezer compartment) හිස් ව පවතී නම් මීටරය 2-3 අතර (1 සිට 5 දක්වා ඇති මීටරයක) මට්ටමකට සුසර කළ හැක.

මෙයට අමතරව අධිශීත කුටීරයේ ඇති දෑ භාවිතයට ගැනීමට පෙර පැය 10-12 ක් පමණ ප්‍රධාන ශීතකරණ කුටීරයේ තබා භාවිතයට ගත හැකි නම් එය වාසිදායකය. එවිට භාවිතයට ගැනීමට නියමිත අධිශීත ආහාර ද්‍රව්‍ය මගින් ද පහළ කුටීරය යම්තාක් සිසිල් වෙයි. එය සම්පීඩකයට පහසුවකි. විදුලිය ඉතිරියකි.

පැරණි ශීතකරණයක් වෙනුවට නව ශීතකරණයක් භාවිතයට ගතහැකි නම් එය ද වාසිදායක වනු ඇති. මන්ද නවීන ශීතකරණ සඳහා වැයවන්නේ මීට වසර 20 කට පමණ පෙර භාවිත කළ ශීතකරණ භාවිත කළ බලශක්තියෙන් 10 න් 1 ක් තරම් අඩු බලශක්තියක් වන නිසයි.තවද නූතන ශීතකරණ සඳහා යොදාන්නා ශීතකාරක වායුව බොහෝ සෙයින් පරිසර හිතකාමී වූවකි.එය අයිසො-බියුටේන් (Isobutane) මිශ්‍රණ ශ්‍රේණියට අයත් R600a ලෙස හදුන්වයි.

ඔබ නොදැනුවත් ව වුවද සාමාන්‍යයෙන් නිවසක විදුලි පරිභෝජනයෙන් 30-50% තරම් ප්‍රතිශතයක් ශීතකරණය සදහා වැයවන අතර ලිපියේ විස්තර කළ විධික්‍රම මුදල් සහ බලශක්තිය ඉතිරි කරදෙනවා සේම ආහාර සුරක්ෂිතතාව සඳහා ද නිසැකව ඉවහල් වනු ඇත.
තවත් මෙවන් රසවත් ලිපියකින් ඉදිරියේදී හමුවෙමු.

Aruna Prasad (3rd year)

මූලාශ්‍ර:



 උපුටා ගැනීම :

Food Science and Technology Association - USJ



තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook