Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

ලංකාව බ්‍රිතාන්‍යයේ කොලනියක්ව පැවැති සමයේ සුදු නිලධාරියකු පාර දිගේ ඇවිදගෙන එන විට මඟ ගමන්ගත් අහිංසක සිංහල මගීන්ට කරේ තිබූ ලේන්සුව අතට ගෙන කානුවට බහින්නට සිදුවිය.

දැන් වෙන්නේ ඒකේ අනෙක් පැත්තය. අද උදේ මම Tesco supermarket එකට යන විට අඩිපාරේ ආපසු පැමිණි පළමුවැනි සුද්දා කානුවට බැස මට ඉඩ දුන්නේය.

තව මීටර් කිහිපයක් මම ඉදිරියට ගියා පමණි. Tesco සිට සිලින් බිලින් බෑග් පුරා එළවළු හා චොක්ලට් අරන් පැමිණි සුදු පවුලේ අම්මා, තාත්තා හා ළමයි හතර දෙනාම පාරෙන් ඈත ගහක් යටට මුවා වී මා යනතුරු නැවතී සිටියේය.

පත්තරේ සමඟ කිරි බෝතලයකුත් අරගෙන මා ආපහු එන විටද පෙර කී සැලකිල්ල අඩුවක් නොවීය. ඇල්ශේෂන් බල්ලකු සමඟ ආ සුද්දියක් ගුඩ්  මෝනිං කියා මට ආචාර කරමින් කානුවට පැන්නාය.

අවුරුදු 133ක් අපේ රටේ සාරය උරාබීම ගැන සමාව ඉල්ලීම සඳහා අපේ පාරේ සුද්දන් මට මෙලෙස ගරු කරනවා කියා ඔබ හිතනවා ඇත. අපොයි නැත.

මේ සුද්දන් මට පාර ඉඩදී ඈත් වෙන්නේ මීටර් දෙකේ සමාජ දුරස්ථ නීතිය අකුරටම පිළිපැදිය යුතු නිසාය.  මස් කඩේදීත් පාක් එකේදීත් සුපර්මාකට් එකේදීත් සුරතල් සතුන් විකුණන සාප්පුවේදීත් මීටර් දෙකක එකිනෙකා අතර පරතරය තබා ගැනීමට සුදු ජාතිකයෝ දැන් වගබලා ගනිති.

මාස දෙකකට කිට්ටු කාලයක් තිස්සේ ලොක්ඩවුන් වීම නිසා බ්‍රිතාන්‍යය පුරවැසියන් හොඳටම හෙම්බත් වී ඇති බවත් ගෘහස්ථ හිංසා පීඩා ගැන පොලිසියට ලැබෙන පැමිණිලි ප්‍රමාණය 40%කින් පමණ වැඩිවී ඇති බවත් ගිය සතියේ මා ඔබට කියුවෙමි.

නමුත් ඉතා බලවත් මානසික අසහනය මැද්දේ වුවද දවසේ වැඩි කාලයක් ගෙදරට වී සිටීමට හා එළියට යනවා නම් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑමටත් දැන් මෙහි පුරවැසියෝ බලවත් උත්සාහයක් දරති.

මෙයට ප්‍රධාන හේතුව ලොක්ඩවුන් නීති හරියට පිළිපදිමින් ගෙදරට වී සිටීමෙන් ජාතික සෞඛ්‍ය සේවයට සහයෝගය දුනහොත් සති දෙකකින් පමණ නීතිරීති ලිහිල් කරන බව අප්‍රේල් 27දා රජය ජනතාවට පොරොන්දු වීමයි.

ජනතාව එයට ඇහුම්කන් දී ගෙදරට වී සිටි නිසා බි්‍රතාන්‍යයේ කොරෝනා රෝග වර්ධනය පුදුමාකාර ලෙස අඩු වී තිබේ.

මාර්තු මාසයේදී ලන්ඩන් ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මහාචාර්යවරු රජයට අනතුරු ඇඟවූයේ කොරෝනා රෝගය රටපුරා සීග්‍රයෙන් වර්ධනය වී 250,000ක පිරිසක් මරණයට පත්වන බවත් වයස 70ට වැඩි අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් 50,000කට පමණ ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් දැඩි සත්කාර ඒකක ඇඳන් බ්‍රිතාන්‍යයේ රෝහල් තුළ නැති බවය.

විශේෂඥ පුහුණුවට බ්‍රිතාන්‍යයට පැමිණ කොරෝනාවට බයේ ආපහු තමන්ව ලංකාවට ගෙනයන ලෙස ඉල්ලා ජනාධිපතිතුමාට ‍දොස්තරවරු 85 දෙනකු විසින් යවන ලද ලියුමේ සඳහන් කර තිබුණේ මෙම 250,000 මරණ කතාවය.

බ්‍රිතාන්‍යය රජය මෙම වෛද්‍යවරුන්ගේ අනාවැකියට කොපමණ බයවූවාදැයි කියනවා නම් රෝගීන් 2000කට එකවර ප්‍රතිකාර කළ හැකි නයිටින්ගේල් නමැති ඇඳන් 4000ක් සහිත අලුත්ම රෝහලක් යුද හමුදාව ලවා දවස් 11ක් තුළ ගොඩනැඟුවේය. ලන්ඩන් නයිටින්ගේල් රෝහල විවෘත කළේය.

ඉන් නොනැවතුණු රජය බර්මින්හැම්, බ්‍රිස්ටල් එක්සෙටර් හා හැරොගේට් නගරවලත් සති දෙකකට අඩු කාලයකදී තවත් නයිටින්ගේල් රෝහල් හතරක් ගොඩනැඟුවේ ලන්ඩනයේ ඉම්පීරියල් සරසවියේ වෛද්‍ය මහාචාර්ය වෛද්‍යවරුන් කියා තිබූ අන්දමේ වියපත් 30,000කට පමණ කොරෝනා වැලදුණහොත් ඔවුන් වහාම දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරගැනීමටය.

නමුත් ගුරුන්ටත් අකුරු වැරදුණේ එතැනය.  සරසවි මහාචාර්යවරුන් කී පරිදි බ්‍රිතාන්‍යයේ මරණ ගණන 250,000ක් වූයේ නැත.

මේ ලියන සදුදා  වනවිට එක්සත් රාජධානියේ මුළු කොරෝනා මරණ ගණන 28,000කි. දෛනික මරණ ගණනත් 500ටත් අඩුය.

චාර්ල්ස් කුමාරයා විසින් විවෘත කළ ලන්ඩන් නයිටින්ගේල් මහ රෝහලේ පාස්කු ඉරිදා සිටියේ රෝගීන් 19 දෙනකු පමණි. ජාතික සුව සේවයේ ධාරිතාව වැඩි කරගැනීමට කඩිමුඩියේ ගොඩනැඟූ නයිටින්ගේල් රෝහල් තුනකට එකම ලෙඩෙකුවත් ඇතුළු කරගන්නට අවශ්‍ය වී නැත.

කොවිඩ් රෝගියකු තම සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කෙරෙන බෙහෙත් පාවිච්චි කරමින් ගෙදරම විවේක ගතහොත් මෙම වයිරසය ඇඟ තුළම මැරී යා හැකිය.

අනෙක් අතට සිරුරේ ප්‍රතිශක්තිකරණ බලය immunity අභිභවා වයිරසය වර්ධනය වී ඔහුගේ ශ්වසන පද්ධතිය තුළින් පෙණහැල්ලට ඇතුළු වුවහොත් රෝගියාගේ ජීවිතය බේරා ගැනීම ඉතා අපහසු කාර්යයක් වනු ඇත. එලෙසම වයස 70ට වැඩි වියපත් අය තුළද ප්‍රතිශක්තිකරණය ඉතා හීනය.

කොරෝනා වයිරසය ඔවුන්ගේ සිරුරට ඇතුළු වුවහොත් එය පෙණහැල්ලට යෑමට කලින් නවත්වා ගැනීමට ඉතා අපහසුය.

Lockdown නීති ලිහිල් කළත් වැඩිහිටියන් ගෙදර තුළ රැඳී සිටීමට නියෝග කළ යුතු යැයි මෙහි සමහර වෛද්‍ය විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ ඒ නිසාය. (නමුත් එම අදහසට වැඩිහිටියන් දහස් ගණනින් දැනටම විරෝධය පළ කරති.)

ලොක්ඩවුන් නැති කරන්න සමාජ බුබුළක්

බ්‍රිතාන්‍ය ජනතාව රජයේ ඉල්ලීම පිළිපදිමින් ගෙවල්වලට වී සිටිති. දවසක රටේ ලක්ෂයක පිරිසක් කොරෝනා පරීක්ෂණයට ලක් කෙරෙන නිසා අලුත් රෝගීන් ඉක්මනට හදුනාගැනීම පහසුය. එසේම අසාධ්‍ය රෝගීන් සියලු දෙනාටම ප්‍රතිකාර කළ හැකි තරමටත් වඩා ජාතික සුව සේවයේ ධාරිතාව පුළුල්ය. දෛනික රෝගීන් මරණ සංඛ්‍යාවද අඩු වී ඇත. එනිසා ලොක්ඩවුන් නීති තව සති දෙකකින් ලිහිල් කොට කර්මාන්තශාලා, සාප්පු සංකීර්ණ හා පෞද්ගලික ආයතන විවෘත කිරීමට බ්‍රිතාන්‍යය රජය දැන් සෙමින් සෙමින් ලැහැස්ති වෙයි.

මේ දක්වා වසා තිබෙන Gym, ක්‍රීඩාහල් (sports Hall) සියල්ලම ජනතාවට විවෘත කෙරෙනු ඇත. ජුනි 1දා දිවයිනේ සියලුම ප්‍රාථමික පාසල් විවෘත කිරීමටත් ජුනි 22 වනවිට අනිකුත් පාසල්, විශ්වවිද්‍යාල හා අනෙකුත් අධ්‍යාපන ආයතන විවෘත කිරීමටත් රජය ලැහැස්ති වෙමින් සිටී. පාසල් තුළත් සමාජ දුරස්ථභාවය රැකගත යුතු යැයි රජය අවධාරණයෙන් කියයි.

දැනට ගෙදරින් පිට කිසිවකු ආශ්‍රය කිරීමට නොහැකි නීතිය වෙනුවට පවුලෙන් පිට තෝරාගන්නා යහළුවන් හා නෑයන් දහදෙනකු සමඟ සම්බන්ධතා පැවැත්වීමට ඔවුන්ගේ ගෙවල්වලට යෑමට අපට අවසර ලැබෙනු ඇත. මෙය හදුන්වන්නේ  Social Bubble (සමාජ බුබුළ) කියාය. එක පුද්ගලයකුට සමාජ බුබුළ දෙකකට ඇතුළු වීමට අවසර නැත. එසේම සාර්ථක එන්නතක් සොයාගන්නා තුරු supermarket  එකේදී, එළිමහනේ පමණක් නොව තම සේවා ස්ථානයේදී මීටර් දෙකේ සමාජ දුරස්ථභාවය අනිවාර්යයෙන්ම පවත්වාගෙන යා යුතු යැයි රජය රාජ්‍ය සේවකයන් හා පෞද්ගලික සේවකයන්ට දැනටමත් දැනුම්දී ඇත.

ඔක්ස්ෆඩ්  වෛද්‍යවරුන් සොයන කොරෝනා එන්නත 

ලෝකය පුරා රටවල් 14ක විද්‍යාඥවරුන්  6000ක් පමණ මේ දිනවල  COVID 19 රෝගය සඳහා එන්නතක් සොයා ගැනීම සඳහා දිවා රෑ පර්යේෂණ කරමින් සිටිති.

දැනට මෙම සටනේ මුල්තැන ගෙන සිටින්නේ ඔක්ස්ෆඩ් (Oxford) සරසවියේ වෛද්‍ය මහාචාර්යවරුන්ය.  ඔවුන් මුලින්ම කළේ කොරෝනා වයිරසය වදුරන් දහදෙනකුට ආසාදනය කිරීමයි. ඉන්පසු එයින් පස්දෙනකුට නව බෙහෙත එන්නත් කරන ලදී. දවස් දෙකක් තුළදී එම වදුරන් පස්දෙනා සම්පූර්ණ සුවය ලැබූ අතර අනෙක් කොරෝනා වදුරන් පස්දෙනාගේ කොරෝනා රෝගය අතිශයින් උත්සන්න විය.

නමුත් වදුරන් මේ එන්නත නිසා සනීප වූවාට මිනිසුන්ට එය බලපාන්නේ කෙසේදැයි විද්‍යාඥවරුන්ට කිව නොහැකිය. එනිසා මේ බෙහෙත් මිනිසුන් හට එන්නත් කොට අත්හදාබැලීමට ඔවුහු තීරණය කළෝය. ඒ සඳහා බ්‍රිතාන්‍යය පුරවැසියෝ 1100ක් සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වූහ. එම පුද්ගලයන්ගෙන් හරි අඩකට එනම් 550කට කොරෝනා එන්නතද අනිත් අඩට ශරීරයට කිසිම හානියක් නොමැති දියර වගයක්ද එන්නත් කරන ලදී. තමාට ලැබුණේ හරි එන්නතද නැති නම් බොරු එකදැයි ඔවුන් දන්නේ නැත.

වදුරන්ට මෙන් මේ අහිංසකයන්ට කොරෝනා විසබීජය ඇතුළු කරන්නට වෛද්‍යවරුනට පුළුවන්කමක් නොතිබිණි.  දැන් මෙම වටිනා පරීක්ෂණයට සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වූ 1100ම සමාජයට මුදාහැර තිබේ.  පිටදී ඔවුන්ගෙන් කිසිවකුට කොරෝනා විසබීජය ඇතුළු වුවහොත් දියර ලැබු volunteersලාට රෝගය වැඩි විය හැකිය. එන්නත නිවැරදි එකක් නම් එය විදගත් 550ක් ස්වේච්ඡකයන්ට කොරෝනා රෝගය වැල‍ෙදන්නේ නැත.

ලොක්ඩවුන් නීති ලිහිල් කිරීමට සැරසෙන බ්‍රිතාන්‍යය

එයින් ඔප්පු වන්නේ මෙම Oxford  එන්නත කොරෝනා රෝගය නියතයටම මරා දැමිය හැකි බලගතු එන්නතක් බවයි.  ඉන්පසු මෙම එන්නත නිවැරදි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත යුතුය.  ඉන් අනතුරුව මෙය නිෂ්පාදනය කොට ලොව පුරා බෙදිය හැකිය.  මැයි මාසය අගවන විට තවත් Volunteers ලා 6000කට මේ එන්නත විද පරීක්ෂණය පුළුල් කොට ප්‍රතිඵල ලබාගැනීමට Oxford  වෛද්‍ය කණ්ඩායම බලාපොරොත්තු වෙයි. Sinovac  (චීනය) Levkocar හා (ජර්මනිය) Reithera (ඉතාලිය) හා Univercells  (බෙල්ජියම) යන සමාගම්ද කොරෝනා එන්නතක් නිපදවීමට ලහි ලහියේ පර්යේෂණ කරමින් සිටියි.

අගමැති බොරිස් ජොන්සන් කියා සිටින්නේ මුලින්ම කොරෝනා රෝගයට එන්නතක් සොයා ගැනීමට රටවල් එකිනෙකා සමඟ තරග නොකර හැමෝම එකට එකතු වී 100% ප්‍රතිඵල ලබාදෙන එන්නතක් නිපදවීම සඳහා සහයෝගයෙන් වැඩ කළ යුතු බවයි.

මෙම Oxford  එන්නත ගැන ලෝකයේ බලාපොරොත්තු කොතරම් ඉහළදැයි කියනවා නම් ලෝකයේ ප්‍රධානතම බෙහෙත් නිපදවන සමාගම Astra Beneca  මේ වන විට සැප්තැම්බර් මාසයේ සිට මෙම එන්නත නිපදවීම සඳහා එක් කර්මාන්තශාලාවක් සම්පූර්ණයෙන්ම සූදානම් කරමින් සිටින බව ලන්ඩන් ඩේලි ටෙලිග්‍රාෆ් පත්‍රය කියයි.

අගමැති බොරිස්ගේ උත්තම කෙළෙහිගුණය

කොරෝනාව වැලඳී එලොව ගොස් මෙලොව ආ ලෝකයේ ඉහළතම රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍යය අගමැති බොරිස් ජොන්සන්ය.  දැඩි සත්කාර ඒකකයේ දවස් තුනක් ඇතුළුව ලන්ඩන් ශාන්ත තෝමස් විදුහලේ දවස් 11ක් ප්‍රතිකාර ලබා ගත් අගමැතිවරයාට තමා හා තම පෙම්වතිය කෙරී සිමන්ස්ගේ කුලුඳුල් දරුවා දකින්නට වාසනාව ලැබුණේ  NHS  නමින් හදුන්වන ජාතික රෝහල් සේවයට (National Health Service) පින් සිද්ධ වෙන්නටය.

බ්‍රිතාන්‍යය ඉභද පුවත්පත සමඟ පසුගිය ඉරිදා සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවෙමින් අගමැතිතුමා මෙසේද කීවේය. මට ලෙඩ වැඩිවුණේ මගේම වැරැද්දෙන්.  කොරෝනා හැදුණු දවසේම මට රාජ්‍ය කටයුතුවලින් අයින් වෙලා විවේක ගන්නයි තිබුණේ.  ජාතික සෞඛ්‍ය සේවයට පින්සිද්ධ වෙන්න මට මගේ දරුවගේ මූණ බලන්න වාසනාව ලැබුණා.

මගේ ඇඟට හයි කරලා තිබුණු මැෂින්වල කටු වැරදි පැත්තට යනවා දකින කොට මටත් තේරුණා මරණය අත ළඟ බව. යටි සිහියෙන් සිටි මට යන්තමට ඇහුණා රෝහල් මණ්ඩලය අගමැතිවරයාගේ මරණය රටට දැන්වීමට ලෑස්ති වෙන බව. ඒක තමයි හරි ක්‍රමය. ඒත් මගේ හිත මට කිව්වා “බොරිස් හෙට අනිද්දා උපදින්න ඉන්න දරුවව නොදැක මැරෙන්න උඹට පිස්සුද? පුළුවන් තරම් ජීවත්වෙන්න ෆයිට් කරපං”Nicholas price  හා Nicholas Har කියන ඉහළම පෙළේ ‍දොස්තරලා දෙන්නා මගේ මුණට Mask  එකක් දමලා ඔක්සිජන් ලීටර් පිට ලීටර්  නහයෙන් ඇඟ ඇතුළට පැය ගණනක් පොම්ප කළා.

අන්තිමේදී කොරෝනා වසවර්තියා පැරදුණා. ජාතික සෞඛ්‍ය සේවයට පින්සිද්ධ වෙන්න මට මගේ දරුවගේ මුණ බලන්න වාසනාව ලැබුණා.

පසුගිය සිකුරාදා අගමැතිතුමා හා පෙම්වතිය තම පුතා Wilfred Lawrie Nicholas Johnson යනුවෙන් නම් කළේය.

Wilfred හා Lawrie යනු බොරිස් ජොන්සන් හා කේරී සිමන්ස්ගේ පිය පාර්ශ්වයේ සීයලා දෙන්නාය. පුංචි ළදරුවාට  Nicholas යන තුන්වෙනි මුල් නම දමා ඇත්තේ අගමැතිතුමා මරණයෙන් බේරාගත් බි්‍රතාන්‍යයේ පෙණහලු පිළිබඳ ඉහළම පෙළේ ‍දොස්තරලා දෙදෙනා Nicholas Price වෛද්‍ය විශේෂඥයා හා Nicholas price වෛද්‍යවරයාට උපහාර වශයෙනි. මේ ගැන බලවත් සතුටට පත්ව සිටින එම වෛද්‍යවරුන් කියන්නේ අගමැතිතුමාගේ දරුවාට තමන්ගේ නම දැමීමෙන් එතුමා මුළු බ්‍රිතාන්‍යය සුව සේවයට විශාල ගෞරව ස්තුතියක් පුද කර ඇති බවයි.

හමුදාවට පුස්පාට් දැමූ ගුණමකු ලාංකිකයෝ

මේ වන විට ඉන්දියාව, මැලේසියාව, පාකිස්තානය, තායිලන්තය වැනි ආසියාතික රටවල් විසින් යුරෝපයේ සිටි දස දහසක් ධනවත් සිසුන් හා වෙනත් පුරවැසියන් ආපසු ගුවනින් රැගෙන ගොස් තිබේ.  අවාසනාවකට තම රැකියා අහිමිවී කෑමට බීමට පවා මුදල් නොමැතිව මැද පෙරදිග දහසක් දුක් විඳින ශ්‍රමිකයන් ආපසු ගෙන්වා ගැනීමට බොහෝ ආසියාතික රජයන්ට වුවමනාවක් නැතැයි ඔවුහු චෝදනා කරති.

ශ්‍රී ලංකා ගුවන් සේවය ද බ්‍රිතාන්‍යයට ගුවන් යානා ගණනාවක් එවා මෙරටේ වසා තිබූ විශ්වවිද්‍යාලවල හිර වී සිටි සිසුන් විශාල සංඛ්‍යාවක් ආපසු ගෙන්වා ගන්නා ලදී. පසුගිය මැයි 4දා ශ්‍රී ලංකා ගුවන් සේවය මඟින් සරසවි සිසුන් ඇතුළු මගීන් 200ක් ලංකාවට ගෙන එන ලදී.  ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා පඩි සමඟ විශේෂඥ පුහුණු සේවයට පැමිණ මෙහේ රෝහල්වලිනුත් පඩි ලබමින් සිටි වෛද්‍යවරුන් කිහිපදෙනකු හා ඔවුන්ගේ පවුලේ අයද මේ මගීන් අතර සිටියහ.

මෙසේ පැමිණි මගීන් පිරිසෙන් සමහරු තමන් ආපසු ගෙන්වා ගැනීමට විශේෂ ගුවන්යානාවක් එවීම ගැන ජනාධිපතිවරයාට ස්තුති කරනවා වෙනුවට බ්‍රිගේඩියර්වරුන්ටත් පරිභව කරමින් කටුනායකදී කලහකාරී ලෙස හැසිරී ඇත. නිරෝධායනය සඳහා තමන් සැප පහසු හොටල්වලට යවන ලෙස ඔවුන් තදින් ඉල්ලා ඇත.

නිරෝධායන කටයුතු ගැන හමුදා නිලධාරියකු සිංහලෙන් විස්තර කරද්දී මේ කණ්ඩායම අතර සිටි අහංකාර දෙතුන් දෙනෙකු (We don’t understand Sinhala. Speak in English) අපට සිංහල තේරෙන්නේ නෑ.  ඉංග්‍රීසියෙන් කියන්නයි  හමුදා නිලධාරීන්ට කියා ඇත්තේ ඔවුන්ට ඉංග්‍රීසි බැරි යැයි අවමන් කිරීමට සිතාය.  වහාම චතුර ඉංග්‍රීසියෙන් කතා කළ හමුදා නිලධාරියා මේ ලාංකිකයන් කිහිපදෙනා බින්දුවටම බස්සවා ඇත.  මොවුන්ගෙන් හැත්තෑ දෙදෙනකු (පිරිමි 33ක් සහ කාන්තාවන් 29) වස්කඩුවේ සිට්‍රස් හෝටලයේ කාමර තිස් දෙකක නවාතැන් ගෙන සිටිති. අනෙක් පිරිස මීගමුවේ ජෙට්වින්ග් හා ඩොල්පින් හෝටලවලට හමුදාව මඟින් යවා ඇත.

අපගේ වීර රණවිරුවන්ට හරියට කතා කිරීමටවත් වුවමනාවක් නැති මෙවැනි උඩඟු ලාංකිකයන් ලන්ඩන්වලින් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය රුපියල් ලක්ෂ ගණන් වියදම් කරන්නේ ඇයි?

බ්‍රිතාන්‍යයේ පැතිරෙන කොරෝනාවට බියෙන් ආපසු පැමිණි වෛද්‍යවරුන්ට කොරෝනා රෝගීන්ගෙන් බෙහෙවින් ඈත වෙනත් වාට්ටුවල රැකියා ලබාදීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බලවත් හිසරදයක් වනවා නොඅනුමානය.

බ්‍රිතාන්‍යය ඉන්ජිනේරු
ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන ලන්ඩන් නුවර සිට ලියයි
උපුටා ගැනීම මව්බිම පුවත්පත

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook