Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

http://inside.gossiplanka.com/2019/08/titanic-letter.html
යිටැනික් ඛේදවාචකයකයෙන් දිවි ගලවා ගත්තියක සිය මරණයට පෙර ලියා තැබූ ලිපිය,

'ලෝකය වටා ගිය මගේ දාහත් වසරක සංචාරක කාලය තුළ මා මුහුණ දුන් එවන් වූ වෙනත් කිසියම් ඛේදාත්මක අත්දැකීමක් මතකයන් යළි යළිත් මිරිකා හරිමින් අවුස්සා සෙවූවද මට සිහිපත් නොවුනු තරම්‍ ය. අසූ තුන් අවුරුද්දක් ගෙවී ගිය ජීවිතයේ මට කිසිදා අමතක කල නොහැකි පැය කිහිපයක් ඇත්නම් ඒ මේ'යැයි මම සිතමි.

පැරීසියේදී, භාෂා පරිවර්තිකාවක වූ මගේ මිතුරියගෙන් මා මාර්තා ස්ටොන් මහත්මිය හදුනාගන්නා විට, ඇය සමග ඇය කැටුව රට තොට ඇවිද යන්නටත් එවිට ඇය හා දොඩමළු වන්නටත් හැකි ලෝකය දැකබලා ඇය මෙන්ම සතුටුවන්නට මගබැලූ මිතුරියක විය හැකි සේවිකාවක් සොයමින් සිටියා ය. සුප්‍රකට බෙල් සී දුරකතන සමාගම් හිමිකරුගේ වැන්දඹුව වූ ඈ කරුණාවන්ත එකියක වූ බැවින් දෙවරක් නොසිතාම මම එය පිළිගතිමි.

මාගේ අත්‍යන්ත ජීවන අපේක්ෂාව වූ ඇමෙරිකාවට සංක්‍රමණය වීම අවසාන ගමනාන්තය කර තබා ගනිමින් අපි යුරෝපය සිත් පුරා දැක ගතිමු. රටින් රට ඇවිද ගිය වසර කිහිපයක ඇවෑමෙන් 1912 හි සිසිරය ලබනවිට අප ඊජිප්තුව ද දැකබලා ඉන් ඔබ්බට ගොස් ශුද්ධ වූ භූමිය නැමැද ජෙරුසෙලම දැක බලා නැවතත් පැරීසියටත් ඉන්පසු ලන්ඩනයටත් විවේකී උදාසීනත්වකින් ලගා වී උන්නෙමු.

ටයිටැනික් සෞතැම්ප්ටන් හී නැංගුරම් ලා උන් අතර අප්‍රේල් 12 වන දෛවෝපගත උදෑසන ඒ දැවැන්තයා පළමුවර දකින විට මිනිසා සැබවින්ම දෙවියන් අතික්‍රමණය කරමින් සිටින බව උන් කී කතාව සැබෑවක් විය හැකි බව මම වටහා ගතිමි. ලන්ඩනයේදී, චාරිකාවට සුඛෝපභෝගී අවසානයක් සටහන් කරනු වස් ස්ටෝන් මහත්මිය ප්‍රථම පන්තියේ ආසන වෙන් කරවාගෙන තිබූ අතර ඇයට අවශ්‍ය වූයේ මහේශාක්‍යත්වය නම් ඒ තෝරාගැනීමෙහි කිසිදු වරදක් සිදු නොවී ඇති බැව් තෙරුම් ගැනීමට මට එක් නිමේශයක් පමණක් ප්‍රමාණවත් විය.

පරිණතව පැසී සුදු පැහැව ගිය, කඩවසම් උවනත සගවාලන්නට වෙර දැරු රැවුලෙහි ධවල පැහැයෙන්ම නිළ ඇදුම හැදි කිසිවෙක් (පසුව ඒ කපිතාන් ස්මිත් බව දැගන්නට ලැබිණි) නැව් ඉහත්තාවේ සිට අප දෙසට නෙත් යොමනු මම දුටු බවත් ඒ මුහුණුවර මේ ලිපිය ලියනා මොහොත දක්වා මට අමතක කරලිය නොහැකි වන පරිද්දෙන් සිත යට හොල්මන් කරමින් මා විඩාපත් කරලූ බවත් නොකියා මෙම ලිපිය සම්පුර්ණ කල නොහැකි බව මම දනිමි.

නැව් නැගී අහවර කාලය ගෙවී ගිය හැටි නම් නොකිව මනාය. සැමරුම්, උත්සව, රාජකීය සුඛ විහරණය හැරුනු කොට අන් කිසිවක් එහි වී නම් එය එය බොහෝ විට මිලාධික ඇදුම් ආයිත්තම්, ආභරණ එකිනෙක වද්දවා ඉසුරෙහි හා සමෘද්ධියෙහි බර කිරවාගත් පුහු සන්ධ්‍යා හමුවීම් හා දුමින්, මතින් හා නීරස කාඩ් ක්‍රීඩාවෙහි ගෙවී ගිය මහත්වරුන්ගේ උපයා සපයා ගැනීමේ වරුණා කථනයේ රාත්‍රීන් යැයි මම සිතමි.

පළමු පන්තියේ අප අතර සිය මධුසමය සදහා ඇමෙරිකා බලා ගිය යුවළ හත අටක්ම වූ අතර ඉන් බොහොමයක් යුරෝපයේ සුවිසල් නගර වලදී අප හා රාත්‍රී භෝජනයක හෝ සැදෑ නර්තනයක හමු වී දැනහදුනා ගත්තවුන් වූ අතර ඇතැමෙක් ඊජිප්තුවේ දීර්ඝ සංචාරය මුළුල්ලේ අප සමගම සිටි හිතවතුන් විය. පළමු පන්තියේ ලෝකය කුඩා යැයි ඉන් ඔබ සිතනු ඇත. එකළ, මමද එසේ සිතූමුත් ජීවිතයේ කෙළවර සිටින මා, පන්තීන් පමණ නොව ලෝකයම කුඩා එකකැයි සිතා සිටිමි.

අප්‍රේල් 14 හිරු ගිලී අදුර එලැඹෙත්ම නැව් තට්ටුවෙහි සුපුරුදු සංගීතමය සැදෑව නිමවෙමින් පැවති අතර උහුලාගත නොහැකි අධික සීතල හේතුවෙන් අමතර කිසිවක් ඇග ලා එන්නට මම මගේ කාමරයට ඇදෙන විට රාත්‍රී එකොළහ පමණ වන්නට ඇතැයි සිතමි. ස්ටෝන් මහත්මිය නින්දේ පසුවුනු හෙයින් විඩාබර දවසට සමුදෙමි'යි සිතමින් නැව් තට්ටුවට යළි යාම පසෙකලා මමද සයනයට වීමී.

උපරිම විනාඩි හතළිස් පහක් ගතවන්නට ඇතැයි සිතමි. මහා දෙදරුම් හඩක් හා බඩවැල් අඹරවා හදවත නවතා ලූ අති ක්ෂණික ගැස්මකින් මා ඇදෙන් විසී වී ගොස් බිම වැටුනෙන් එළොව මෙළොව සොයාගත නොහැකිව මොහොතක් එතැනම පරළ වී උන්නෙමි. සිහි එලැඹි මොහොතේ හෝ සිහි එළැඹුනැයි සිතන්නට තරම් සිතට දිරි ආ මොහොතේ ස්ටෝන් මහත්මිය වෙත දිව ගියෙමි. දෙවියන්ට ස්තූති වන්නට ඇය නිරුපද්‍රිතව සිටියාය.

ජල නළයක් පැලී ගියාක් මෙන් මහ හඩින් ජල දාරාවක් නිදහස් වන හඩක් දිගින් දිගටම ඇසුනෙන් අප කාමරයේ දොර විවර කොට විපරම් කරන්නට තරම් මම මොහොතකට විචක්ෂණශීලී වුනෙමි. එය සත්තකින්ම දෛවයේ ලියවීම මිස අන් කිසිවක් නොවන බැව් බොහෝ විට ජීවිතයේ මුග්ධ තීරණ ගෙන ඇති මා පසුපස හැරී බලනා මේ මොහොතේ කල්පනා කරමි. කෙසේ හෝ යක්ෂයා නැව් නැගි ඒ කණිසමෙහි ස්ටෝන් මහත්මියට ද ජීවිතාරක්ෂක කබාය පළන්දා මම ද රාත්‍රී නිදන ඇදුමට උඩින් එය පටලවා ගෙන නැව් තට්ටුව සොයා හැල්මේ දිව ගියෙමි.

නැව් තට්ටුව එකම ගාලගෝට්ටියක් වී පැවතිය අතර තීරණයක් නොමැතිව ගෙවී ගිය බොහෝ වේලාවකින් අහවර බෝට්ටු එකින් එක නැව් බද කෙළවර ගොඩගැසෙනු අපි දුටුවෙමු. අදහාගත නොහැකි පරිද්දෙන් නැව හැරදා යන්නට හේතු වූ කිසිවක් සිදු වී අත. සත්‍යවශයෙන්ම ඒ වන විට සිදු වූයේ කුමක්ද, දැන් සිදුවන්නේ කුමක්ද කියා නිශ්චයක් මට නොවුන මුත් මහා විපත්තියක් සිදු වී ඇත කියා පමණක් සීතලට හා භීතියට ගල්ව ගිය හිත උණුසුම් කරමින් දළුලමින් සියොළග වෙව්ලවා අඩපණ කර දමමින් දැවි දැවී ගිය සිතුවිල්ලක් විසින් මට උගන්වා තිබිණි.

නැව් හැර යන්නේ නම් ආභරණ මංජුසාව රැගෙන ආ යුතු බව ස්ටෝන් මහත්මිය නොසිතූ විරූ ලෙස මුරණ්ඩු වූයෙන් එය රැගෙන යාමට ආපසු හැරෙනු හැර මට වෙන විකල්පයක් තිබුනේ නැත. නමුත් දෛවය නැවතත් මට පාර පෙන්වා ලූ අතර සත්තකින්ම මට හරි පාර අමතක විය. වැරදි දිශාවට බොහෝ දුර ගොස් බියපත්ව මංජුසාව රැගෙන ඒමේ උත්සහය අත් හැරි මා නැවත නැව් තට්ටුවට එනවිට ස්ටෝන් මහත්මිය මගඇරී තිබිණි. නිවැරදි දිශාවට ගොස් කාමරයට එලැඹියා නම් එය බොහෝවිට මාගේ අවසාන ගමන වන්නට ඉඩ තිබිණි.

ගැහැණුන් සහ දරුවන් පළමුව බෝට්ටු නැංවූ අතර එහිදී පනස්වසක් එකට දිවි ගෙවූ බිරිදක් සිය සැමියා නොමැතිව බෝට්ටුවට ගොඩවිය නොහැකි බව පවසා ඔහු සමග ජලයෙන් පිරී යමින් තිබුණා වූත් මිනිසුන් හැල්මේ හැරයමින් තිබුනා වූත් කාමර පර්‍යන්තයට පැහැදිලි වූ නිශ්චිත අරමුණකින් පිය නගනු සත්තකින් මම දුටුවෙමි. නව විවාපත් යුවළක් අල්තාරය දෙසට පියනගන්නේ යම් ගෞරවාන්විත ආදරයකින් වේද එවන් වූ කිසිවක් මා උන් තුළින් දැකගතිමි. කෙසේ හෝ සියළු කාරණා මධ්‍යයයේ යන්තම් සිව්වැනි බෝට්ටුවට ගොඩවීමට තරම් මා වාසනාවන්ත විය. විශ්මයජනක ලෙස එහි කොනෙක ස්ටෝන් මහත්මියද වූ අතර ඈ හෙළූ සැනසිලිදායක මදහසින් සියළුම ආභරණ පරයා ජීවිත දිස්නය වඩා ඔපවත් බව ඇය තේරුම්ගෙන සිටි බව මම වටහාගතිමි.

නැව සමග පතුලට ඇදී යා නොයෑමට නම් අප හැකි ඉක්මණින් ඉන් ඈතට, ඉතා දුර ඈතට යා යුතු බව කොහෙන් හෝ කෑ ගැසූ උපදෙසක් මුසු හඩක් නිරන්තරයෙන් ඇසිණි. ඇටමිදුළු ගල්ගැසෙන සීතලේ හබල් ගෑමට උත්සහ කර බලන්න! අප එය පුළුවන් උපරිමයෙන් කලෙමු. සීතලට අතැගිලි හබලට ඇලී ඇඹරුනු විට සම ඇඹරී පැලී ගිය බව දැණුනේ එය රුධිරයෙන් උණුසුම් වන විටය. මොහොතකින් එයද ගල් ගැසුනෙන් අත් සහ හබල් යනු දෙකක් නොව එකක් වූ යාන්ත්‍රික මිනිසුන්ව අප දිවි පරදුවට තබා හබල් ගෑවෙමු. අප ආරක්ෂිත ‍යයි හැගුනු තරමේ දුරක් ඈතට යන්නට ඇත. අදහාගත නොහැකි තරම් සන්සුන්ව තිබූ සාගර ජලය මත හැලහොල්මනක් නොමැතිව බෝට්ටුව ඔහේ පාවෙන්නට ඉඩ හැර බෝට්ටුභාර නිළධාරියා ඔසවා ලූ ලන්තෑරුමේ මද ආලෝකයෙන් අප සැවොම ටයිටැනික් හී තවමත් දිලී දිදුලන කාන්තිමත් ආලෝකය දෙස නෙත් අයා හැකි තරම් වේලා බලා සිටියෙමු. ඒ නමුදු නැව ගිලෙන, කෑ මොර තලන සීතලම තත්පරයේ සියල්ල වන්නට හැර මතකයේ කිසිවක් නොරැදෙන්නට මම නෙත් පියා ගතිමි!

එසැණිනි මම දුටුවෙමි. බෝට්ටුව පතුලේ පයට පෑගෙන ඔබ්බෙන් මිනිසෙකු, 'පිරිමි මිනිසෙකු', ගුලි වී වැතිර උන් අයුරු දුටුවෙමි. ගැහැණුන් හා රහසේ බෝට්ටුවට ගොඩ වැදී, උන් සින්න විය හැකිව තිබූ ජීවිතයට හබළින් යළි යළිත් ණය තුරුස පියවූ වේදනාකාරී හැම තත්පරයකදීම බෝට්ටුව පතුලේ ගුලිව සැගව ගෙන සිටි මෙම මහතා අන් කිසිවෙකු නොව සුරක්ෂිතභාවයේ උපරිම මොහොතක දී, මිතුරු සහචරයන් වටකර සිය අප්‍රිකානූ දඩයම් ජීවිතයේ වීර වික්‍රමාන්විතයන් විස්තර කරමින් සිංහ හිස් කබල් සුණුවිසුණු කරලූ ත්‍රාසජනක අන්දරයක අප අතරමං කරලූ බිය යන්න අසා නොතිබූ දඩයක්කරුවාම විය.

පළමුව ආලෝකය අතුරුදන් විය. කෑලි කැපිය හැකි ඝණ අදුරට මුසුව දෙවනුව උදව් ඉල්ලා කල කෑ ගැසීම් එකින් එක වියැකී ගිය අතර සීතල ජලයෙහි අත් පා ගසන හඩ ඉන් මද වේලාවක් යනතුරුද ඇසිණි. ඉන්පසු සියල්ල නිශ්චල විය. අදටත් මා සිහිනයෙන් දකිනා එම බියකරු නිශ්චලතාවය තුළ මම මරණය යන්න කුමක්දැයි ඉවකර දැකගතිමි.

සූර්‍යාලෝකයේ පළමු ලා ඉගියෙන් අපි අපගේ ගැලවුම්කරුවා වූ කාපතියා නෞකාව දැකගතිමු. උණුසුම් කෝපි කෝප්පයකින් හා වියළි බ්ලැන්කට්ටුවකින් අප සැවොම ඉහළට ඔසවා ගත් උන් අවසාන වතාවට තවත් දිවි ගලවා ගත්තවුන් වෙත් දැයි සොයන්නනට ආපසු හැරුනු ගමනේදී, දැවැන්තයා ගිලී සදහටම සමුගත් ඉසව්වේ පැවති අති නිශ්චලතාවය දැක මම මොහොතකට නිරුත්තර උනෙමි. එම හැගීම කුමක්දැයි අදටත් මට විස්තර කල නොහැකි අතර එය සත්තකින් නිරුත්තරභාවය යැයි මම සිතමි.

ගෙනෝවා වෙත යාමට තිබූ කාපතියා අප නිසා නිව් යෝර්ක් බලා රළ දෙබෑ කල අතර වරායට ගොඩ වූ සැණින් අත්ලාන්තික් බිහිසුණු මුර්ගයා දෙස ඇති තාක් බලා වුන් මා ඒ ගෙවුනු හැම තත්පරයකදීම අවසාන පැය කිහිපයෙහි මතකයන් සිත පතුලෙහි අදුරුතම ආගාධයක ගිල්වා සිර කරගතිමි. ඉන්පසු සදාකාලිකවම මුව ගොළු කරගත් මා ටයිටැනික නම හෝ නොඇසූ එකියක මෙන් අවසන් නවාතැන්පල වූ ඇමෙරිකානු භූමියෙහි පොරොන්දු සෞභාග්‍යය සොයා පිය නැගුවෙමි.

රෝස් අමේලි ඉකාර්ඩ්,
අගෝස්තු 08, 1955.


තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook